Thursday, January 9, 2014

එතකොට හරිද සර්??? - Is Everything Alright




පාසලක දඩබ්බර කොල්ලෙක් සිටියේය. කොල්ලා පන්තියේ ටීචර් කියන දෙය තියා ගෙදර දෙමව්පියෝ කියන දෙය වත් නොඇසුවේය. කොල්ලා යහ මඟට ගැනීමට ටීචර් කළේ කොල්ලාගේ ගෙදරින් දෙමාපියන් පාසලට කැඳවීමය. එහෙත් කොල්ලා ගණනකට ගත්තෙ නැතිය. මන්ද ගෙදරන්ද රිඇක්ෂන් එකක් නැති නිසාය. කොල්ලා කැමති ලෙසට දඩබ්බර වන්නේය. දිනක් පාසලට සිගරට් එකක් රැගෙන විත් කොල්ලා ටීචර්ට අසුවන්නේය. නඩුව නවතින්නේ ප්‍රින්සිපල් හෙවත් ඉස්කෝලෙ ලොකු මහත්තයා ලඟින්ය. කොල්ලාගේ හිස්ට්‍රිය නොදත් සර් කොල්ලාගේ දෙමාපියන් කැඳවන්නේය. නැවතත් පරණ සීන් එකමය. දෙමාපින්ට තරවටුකර, කොල්ලාට තරවටු කොට වැඩේ අවසන් වන්නේය.

පසුදා උදේ සර් පාසලට එන්නේය. මඟදී සර්ට හූ පාරක් ඇසෙන්නේය. වටපිට බලන විට කොල්ලා තම දකුණතේ මැඳ ඇඟිල්ල උලුක්කොට සර්ට පෙන්නමින් හූ කියන්නේය. සර්ට මල කරේය. පාසලට පැමිණ කොල්ලාට දොස් කියන්නේ තමන්ට පරිභව කළ නිසාත් ගුරුවරුන්ට ඇතිවිය යුතු ගෞරවය නොදැක්වීම නිසාත්ය. පසුදිනත් දෙමාපියන් පාසලේය. කොල්ලා දෙමාපියන් ඉදිරියේ සර්ගෙන් සමාව ගන්නේ නැවත ගුරුවරුන්ට අපහාස නොකරන බව කියමින්ය. වැඩේ අහවරය. කොල්ලා පසුදාද සිගරට් එකක් ගෙනැවිත් ටොයිලට් එකේ හුණු කූරකින් රූප අඳිමින් උරන්නේය. ලොකු සර් කොල්ලා දකින දකින තැන කියන්නේ අර ලමයා දැන් හැදිලා කියාය. සමාව ගත් තැනදී කොල්ලා හොද වන්නේය. ඌට වෙනම මූණක් පැළදෙන්නේය.

රටේ ලොකු සර් දකිනා නොදකිනා තැනකදී, රටේ දෙවෙනි සර් කුඩු ලොරි පිටින් රැගෙන එන්නේය. මෙය රටේ පාලනයට සම්බන්ධ පුජ්‍ය පක්ෂයක් දකින්නේය. වැඩේ රටටම ප්‍රසිද්ධ කොට දෙවෙනි සර්ව පච කරන්නේය. ලොකු සර් නඩුව කැඳවන්නේය. පසුදා දෙවෙනි සර් පූජ්‍ය පක්ෂයට විරුද්ධ ප්‍රකාශ නිකුත් කරන්නේය. උක්ත පක්ෂයට මල පනින්නේය. කළ ප්‍රකාශයට සමාව ගන්නා මෙන් ඉල්ලමින් ප්‍රකාශද, වන්දිද ඉල්ලන්නේය. දෙවෙනි පක්ෂය සද්ද නැතිය. සරලම දෙයක කළ හැකිය. එනම් පාසලේ කොල්ලා මෙන් සමාව අරන් පැත්තකට වීමය. එවිට කතාව සැඟව යන්නේය. දෙවෙනි සර් හොඳ වන්නේය. වරද පෙන්වා දුන් පූජ්‍ය පක්ෂය හොඳවන්නේය. එසේම ලොකුම ලොකු සර් වීරයා වන්නේය. චැප්ටර් ක්ලෝස්ය.


නමුත් හෙට නැවතත් කුඩු ලොරියක් එන්නේය. දෙවෙනි සර් එය කොල්ලන් අතරේ බෙදා හරින්නේය. සැප ගන්නා උන් කුඩ්ඩ ගසා බිත්ති දිගේ පාවෙන්නේය. ලොකු සර්ද, ලොකු සර් සුරකින වැරදි පෙන්වා දෙන ඇත්තෝද බිත්තිය මුදුනේ සිට සියල්ල බලා සිටින්නෝය. අරුන් බිත්ති දිගේ නැග්ගේ කුඩු ගැසීමෙන්ය. මුන් බිත්තිය මුදුනේ සිටින්නේ කුඩු විකුණලාය. අවීචි මහානරකාදියේ සැට් එකම කක්කා වලක බැස උඩ යට මාරුවී සිටින දින එළැඹෙන්නේ මේ භවයේදීද, ඊලඟ භවයේදීද කියා අප බලා සිටින්නේය.

Tuesday, January 7, 2014

ශ්‍රී ලංකාවෙන් වචන තුන්සිය තිස් තුනක් - Sri Lankan Triple Nelson !!!




ඉස්සර ලිව්වේ දිග හෑලිය. දැන් මිනිස්සු පට්ට බිසීය. වැඩක් ඇති නිසා නොවේය. එහෙත් වැඩකට නැති වැඩ වලින් කාර්යය බහුල වෙලාය. මිනිස්සු නිවුස් බලන්නේද නැතිය. බලන්නේ හෙඩ්ලයින් පමණක්ය. පත්තරය ගන්නේද කියවන්නට නොව හෙඩ්ලයින් බලා බත් ඔතන්නටය. ඒ නිසා දුවන ගමන් කියවන්නට දෙයක් ලිවිය යුතුය. එස්එම්එස් වගේ ලිපි දැන් වැඳගත් බව හැඟුනේ ඒ නිසාය.

මා මුලින්ම සිතුවේ නෙල්සන් ලෙස අඩවියක් පටන් ගන්නටය. එහෙත් නිකමට කතාවක් ලියා ගණන් බලන විට එය නෙල්සන් පන්නලාය. නෙල්සන් මැන්ඩලා පවා වයස පන්නා ලොවෙන් සමුගත්තේය. ඒ නිසා නෙල්සන්ලා තෙගුණයක තරම් වත් පෝස්ටුවක් දැමිය යුතු නිසා, ත්‍රිපල් නෙල්සන් ආරම්භ කළෙමි. යමක් සැකෙවින්, රිදෙන්නට කියන්නට ත්‍රිපල් නෙල්සන් ප්‍රමාණවත් යැයි සිතන්නෙමි. එය මඳි යැයි හැඟෙන යම් කෙනෙක් සිටිත් නම් එක පෝස්ට් එක දෙවරක් කියවා 666ක ප්‍රමාණයක් වූ ලිපියක් කියවූ සැප ලැබිය හැකිය.

ඉස්කෝලෙ යන කාලේ අපිට දුන්නේ වචන සීයක, එකසිය පනහක, දෙසීයක ප්‍රමාණයේ රචනා ලියන්නටය. එවිට අපේ හැම එකාම පාහේ කරන්නේ ජේදයෙන් ජේදයට අකුරු ගණනය කිරීමය. මට ඒ කාලේ සිටම එහෙම අවුලක් නැතිය. ලියන්නට ගියාම වැල් වටාරම් සහිතව හෝ රහිතව එක දිගට ලියාගෙන යා හැකිය. ඒ කාලේ ගණනය නොකරපු දැ දැන් ගණනය කරන්නට වී ඇත්තේය. ඒ තරමට ආර්ථිකය පවා අපහසුය. දැන් ලිපි පවා ගණනට නූලට කිරා මැන බලා දිය යුතුය. ඒ නිසාම ලිපියක් වචන 333කට සීමා වන්නේය. සිංහල භාෂාවේ වචන එකට ලිවීම්, වචන දෙකකට කැඩීම් අදිය හරියට අත්හදා බැලිය යුතු කාලයක් එළැබ ඇත්තේය. ඒ නිසා සීමාව ඉක්මවා ලිවීම හෝ කරුණු අඩු කොට ලිවීම අතැර වචන තුන්සියතිස්තුනක (තනි වචනයක් ලෙසට ලියුවෙමි) සීමාවක් තුල කරනම් ගැසීමට සිතා ගත්තෙමි.

කිසිම අදහසක් නොමැතිව, එක පාරටම සිතේ ජනිත වන්නාවූ දේ කිරීමට යාමෙන් කෙළවූ ජීවීන් සහිත සමාජයක උදේ පාන්දර සිතට ආ දෙයක් මෙසේ ක්‍රියාවට නැංවෙන්නේය. මොනවා වුණත්, මා සීමාවේ ජීවත් වන්නෙමි. සීමාව පැන ගොස් විනාස වන්නට නොහැක. කෙමෙන්ට් දැමීමේදීද වචන 333 සීමාව නොපැන්නවීමට ඔබත් කාරුණික වන මෙන් ඉල්ල සිටින්නෙමි. නැතහොත් ඔබේ කමෙන්ටුව පෝස්ට් එකක් වී මගේ ලිපිය කමෙන්ට් එකක් වන තත්වයට වැටෙන්නේය.


සාධාරණ තර්කය, තාත්වික ගහ මරා ගැනිල්ල, නව නිර්මාණ බිහිකරන යුගයක් ආරම්භ කරන බව (සෑ)මා එදාත් විශ්වාස කළේය. අදත්, හෙටත් විශ්වාස කරන්නේය. තර්කයට, විනාසයට මුල්වන්නාවූ ලිපි ලිවිල්ලක ආරම්භය මෙසේ 333ක සීමාවක් වටා බිහිවන බව මතක තබා ගන්න.